තෝමසුවේ ඉතිහාසය

 

 

සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය 1885 ජූලි 02 දින ආරම්භ කළ බව සඳහන්වේ.  ඒ අනුව  2010 ජූලි 02 දින වන විට වසර 134ක් සපිරෙයි. මිෂනාරි පාසලක් ලෙස  මෙම පාසල ආරම්භ කිරීමට මූලිකව කටයුතු කරමින්  පුරෝගාමී වූයේ ජෝන් ස්ටීවන්සන් ලයිලි පියතුමාය. 1885 වසරේ ආරම්භක විදුහල්පතිනිය වුයේ කැලැන්ඩර් මැතිනියයි. ඉන්පසුව බොයිටන්, ලැබරේයි, බුල්ජන්ස්, මොයිරා යන විදුහල්පතිනියන්ගේ කාලවලදී මෙම විදුහලට උදාර මෙහෙයක් සිදු කළ බව සඳහන්වේ. 

 

1926-1929 දක්වාත් 1932-1938 දක්වාත් විදුහල්පතිනිය වූයේ එඩා මේරි කන්‍යා සොහොයුරියයි. එම කාලය එතුමියගේ පරිත්‍යාගශීලී භාවයත් හා අවංක කැපවීමත් නිසා තෝමසු බාලිකාවන්ගේ යහපැවැත්මත්, උසස් අධ්‍යාපනයත් මැනවින් ඔප මට්ටම් වූ බව සඳහන් වී ඇත.

 

1938 සිට පාලනය ගෙන ගියේ එස්.සමරසිංහ මැතිනියයි. එතුමිය ප්‍රථම සිංහල විදුහල්පතිනිය විය. මෙකල බිහිසුණු II ලෝක සංග්‍රාමය සිදු වූ කාලයයි. මෙකල බාලිකාවන්ගේ  පූර්ණ ආරක්ෂාවත්, අධ්‍යාපනය ලබාදීමත් පාසල මගින් ඉතා විශිෂ්ට ලෙස ලබා දෙන ලදි. 1945 දී එච්. විජේරත්න මැතිනිය විදුහල්පතිනිය බවට පත්විය.

 

‍සාන්ත  තෝමස් උසස් බාලිකා විද්‍යාලය මුල් පිහිටි භූමිය වූයේ දැනට සාන්ත තෝමස් කුමර විදුහල පිහිටි භූමියේය. පළමුවෙන්ම මොහොට්ටි  මුදලි ගුණරත්න මැතිතුමා විසින් පාසල් ගොඩනැගිල්ලක් පරිත්‍යාග කරන ලදි. මේ අනුව කැලැන්ඩර් මහත්මිය විදුහල්පතිනිය ලෙස කටයුතු කළ අතර නේවාසිකාගාරය, නිල නිවස හා පාසල එකම ස්ථානයක පැවැත්වීය.

 

ශිෂ්‍ය ශිෂ්‍යාවන් හතර දෙනෙකුගෙන් ආරම්භ වූ පාසලේ මුල්ම දරු පිරිස වූයේ එලන් බණ්ඩාරනායක , ඇලිස් සෙනවිරත්න,ජෝර්ජියා ද සේරම්, එච්.ඩී. ගුණරත්න යන අයයි. පසුව  වාසල මුදලි, එම්.ආර්.එච්. පෙරේරා මැතිතුමා විසින් කරවන ලද “MIZPAH” නම් මන්දිරයෙනි. 1890 -1912 දක්වා කාලය තුළ සාන්ත තෝමස් බාලිකා විදුහල ස්ථාන ගත කරන ලදි. එය දැනට රුහුණවිශ්ව විද්‍යාලය ස්ථාන ගත වී  තිබෙන “වැල්ලමඩම” නම්  ප්‍රදේශය බව සැලකේ. අනතුරුව “Daisy Villa” හි බ්‍රෝඩ්වේ මන්දිරය අසල පාසල පැවැත් වූ බව සඳහන්වේ. ඒ අවධිය වන විට  ශිෂ්‍ය ශිෂ්‍යාවන් 400 ක් ඉගෙනුම ලැබුහ. පසු  කාලයකදී මෙම ස්ථානය විකුණා දැමු බැවින් දැනට තිබෙන ස්ථානයට, එනම් වල්පොල ප්‍රදේශයට ගෙන එන ලදි. 1961 වර්ෂය සාන්ත තෝ‍මස් උසස් බාලිකා විද්‍යාලය රජයට පවරා ගන්නා ලදි.  නිදහස් අධ්‍යාපන‍යේ ආරම්භයත් සමඟම මවුබසින් අධ්‍යාපනය ලබාදීම  කළ යුතු නිසා ඒ සමඟම පාසල් පරිපාලනය වෙනස් විය. 

ඈත අතීතයේ සිට ‍සාන්ත  තෝමස් උසස් බාලිකාවන්ට ආවේනික වූ වේදිකා නාට්‍ය රඟ දැක්වීම නිසාත්, ක්‍රීඩා කෞශල්‍ය නිසාත්,යහපත් විනය ගරුක දැරියන් නිසාත් පාසල ඉතා කීර්තියට පත් වී තිබුණි. පාසල් ගායනා තරඟ ආරම්භ කිරීමටත්, පාසල් අතර විවිධ තරඟ ආරම්භ කිරීමටත් එවක සිටි විදුහල්පතිනිය වූ එඩාමේරි කන්‍යා සොහොයුරිය උනන්දු වූවාය.

 

1920 වන විට පාසලේ බාල දක්ෂ මානවිකා කණ්ඩායමද ආරම්භ විය. ඇමතිස්ට්, එමරල්ඩ්, රූබී, සෆායා ලෙස නිවාස හතරක් යටතේ සිසුවියන්ගේ ක්‍රීඩා කෞශල්‍යය වර්ධනය කිරීමට නිවාසාන්තර ක්‍රීඩා උත්සවය එදා සිට අද දක්වා වාර්ෂිකව පැවැත්වේ. පාසල් දැල්පන්දු කණ්ඩායම, සරඹ හා ගායනා කණ්ඩායම් මැනවින් පවත්වා ගැනීමට එකල වූ  ගුරු මඩුල්ල උපරිම දායකත්වය ලබා දී ඇත.

 

විදුහලේ   උන්නතියට කැප වී ක්‍රියා කළ   මෑත  කාලීන  විදුහල්පතිනියන්  වූ    එච්. විජේරත්ත, පී.සෝමා කුමාරි සමරසිංහ, ඔල්ගා බුල්ජන්ස්, පී.බුද්ධප්‍රිය හා එච්.එල්.බී.වී. ජයවීර මැතිනිය ද මෙහිලා ගෞරවයෙන් සිහිපත් කළ යුතුය. අධ්‍යාපනික වශයෙන් පාසල ඉතා ඉහළ තලයකට ගෙන ඒමට මෙම සියලු විදුහල්පතිනියන් කැප වී ක්‍රියා කළ බව සඳහන් කළ යුතුය.වර්තමානයේ පාසල අතිමහත් ජනප්‍රියත්වයට හා ගෞරවයට පාත්‍ර වී ඇත්තේ වත්මත් විදුහල්පතිනියඅයි.එස්. සිරිබද්දන මැතිනියගේ හා ගුරු මණ්ඩලයේ කැපවීම තුළිනි.

 

මෙම විදුහලේ අතිශය කීර්තිමත්  ආදී ශිෂ්‍යාවෝ ද සිටියහ. ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය  ඩී. එස් සේනානායක මැතිතුමාගේ බිරිඳ වු මෝලී සේනානායක (දුනුවිල) මෙම විදුහලේ ආදී ශිෂ්‍යාවකි. අයිලින් සිරිවර්ධන මැතිනිය, ඛේමා සමරවීර මැතිනිය, ධම්මිකා පියදාස  මැතිනිය, ආචාර්ය කුසුමා ගුණවර්ධන මැතිනිය, මොනිකා රුවන් පතිරණ මැතිනිය, ඇතුළු විශාල උගතුන් පිරිසක් මෙම විද්‍යාලය විසින් බිහිකර ඇත. රජයේ උසස් තනතුරුලාභී  නිළධාරිනියන්ද, වෛද්‍යවරියන් ද, මහාචාර්යවරියන් ද, ඉංජිනේරුවරියන්, පරිපාලන නිළධාරිනියන් මෙන්ම ගත් කතුවරියන්ද විවිධ රැකියාවල නියුතු උගතුන් ද මේ දක්වා රටට දැයට සේවය කර ඇත. 

1935 ජූලි 02 ගෝල්ඩන් ජුබිලිය සැමරූ බව සඳහන් වේ. ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආණ්ඩුකාරතුමා හා ආර්යාව පැමිණ ඇත. 1950  ක්‍රීඩා වර්ණ ප්‍රදාන උත්සවයක් පවත්වා ඇති බවට සටහන් දක්නට ලැබේ. පළමුවෙනි ආදි ශිෂ්‍ය සංගමය 1920 ජුනි මස 07 දින ආරම්භ කළ අතර, පළමුවැනි ලේකම් වූයේ නෙලී සිරිවර්ධන මහත්මියයි.

 

වර්තමානයේ වාර්ෂික සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග වලින් විශිෂ්ට සාමාර්ථය ලබා ගන්නා ශිෂ්‍යාවන්ද විෂය සමගාමී ක්‍රියාකාරකම් සඳහා සමස්ත ලංකාවෙන්ම විශේෂ ජයග්‍රහණ ලබා ගන්නා ශිෂ්‍යාවන්ද වාර්ෂිකව පාසල තුළින් බිහිවේ. සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය වර්තමානයේ ඉතා විශිෂ්ට ලෙස වර්ධනය වෙමින් පවතින මාතර ප්‍රදේශයේ ඇති උසස් බාලිකාවකි.

 

එදා මෙන්ම අදත් මතුවටත් අධ්‍යාපනික හා විනය ගරුක සිසුවියන් බිහි කිරීමට මුල් වූ දකුණේ ප්‍රධානතම අධ්‍යාපනික ආයතනය ලෙස ශ්‍රී ලංකාව තුළ ලබා ගත් කිර්තිමත් නාමය සදා රැක ගනිමින් අධ්‍යාපනික කේෂ්ත්‍රයේ ඉහළින් රඳා පැවතීමට හැකි සෑම උත්සාහයක්ම දරමින් සිටින්නෙමු.